Wednesday, May 10, 2017

ශ්‍රී ලංකාවේ අභිමානය රැන්දූ දා - මංගල ටෙස්ට් තරගය



ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ආදරය කරපු , ඒ වෙනුවෙන් ම ජීවිතය කැප කරපු මිනිසුන් නොහිටියා නොවේ . මෙවන් අවදියක තමා ශ්‍රී ලාංකික හදවත් වලට සතුටු කදුලක් ගෙන ආවේ . 1982 පෙබරවාරි 17 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ඒකායන බලාපොරොත්තුවක් ඉටු වුනු වසරක්.. ඒ කියන්නේ ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමි වීමත් සමගින් ශ්‍රී ලංකාව සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී වීමට සිදු වූයේ, ක්‍රිකට් උපන්නා යැයි සැලකෙන හිරු නොබසින රාජ්‍යත් සමගිනි. දහසක් බලාපොරොත්තු පොදි බැදගෙන, කණ්ඩායමේ අනෙකුත් සගයන් සමගින් ශ්‍රී ලංකා පිළේ නායකත්වය බන්දුල වර්ණපුරට හිමි වූ අතර එංගලන්ත කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ, කීත් ෆ්ලෙචර් විසිනි. 




බන්දුල වර්ණපුර විසින් කාසිය වාසිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පී . සරණමුත්තු ක්‍රීඩාංගණයේදී ( ඕවල් පිටියේදී ) පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට සිදු වූයේ සිය පළමු ඉණිම ලකුණු 218 සීමා වීමටය. එයට පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ, ලකුණු 223 පමණි. මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අපූරු සිදුවීම් මාලාවක් සිදු වුනා කීවොත් නිවරදි. නායක බන්දුල වර්ණපුර විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් ලකුණ රැස් කිරීමට සමත් වූ අතර , අනෙත් පසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු නොලබා දැවී ගිය පළමු ක්‍රීඩකයා බවට රෝයි ඩයස් ඉතිහාසයට එක් විය. මුල් ඉණිමේදී , අර්ජුණ රණතුංග ලබා ගත් ලකුණු 54 සමගින් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් අර්ධ ශතකය රැස් කිරීමේ ගෞරවය හිමි කර ගැනීමට සමත් විය . 

ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් ලකුණ ලබා
ගත් බන්දුල වර්ණපුර

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු නොලබා ගිය
පළමු ක්‍රීඩකයා බවට රෝයි ඩයස් පත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් අර්ධ ශතකය
අර්ජුන රණතුංගගෙන්.


එංගලන්තය වෙනුවෙන් ඩේවිඩ් ගවර් විසින් අගනා ලකුණු 89 කින් එංගලන්ත පළමු ඉණිම ශක්තිමත් කළ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අසන්තා ද මැල් විසින් පන්දුවාර 17 ක් තුළදී, ලකුණු 70 කට කඩුලු 04 ක් බිද හෙලීමට සමත් විය. ඩී.එස් .ද සිල්වා ලකුණු 54 කට කඩුලු 03 ක්ද, අජිත් ද සිල්වා ලකුණු 52 කට කඩුලු 02 ක්ද දවා ලීමට සමත් විය . 

තරගයේ තුන්වන දිනය ආරම්භයත් සමගින් ශ්‍රී ලංකාවේ දෙවන ඉණිම ආරම්භ කිරීමට සූදානම් විය . පළමු ඉණිමේදී මෙන් ම දෙවන ඉණිමේදී එතරම් සාර්තක වීමට නොහැකි වූ ශ්‍රී ලංකාවට දෙවනි ඉණිමේදී ද සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 175 ක් පමණි. දෙවන ඉණිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ, ලකුණු 77 ක් ලබාගත් රෝයි ඩයස් ය. බන්දුල වර්ණපුර ලකුණු 38 ක් ද , දුලිප් මෙන්ඩිස් ලකුණු 27 ක්ද ලබා ගනිමින් කඩා වැටී තිබූ ශ්‍රී ලංකා ඉණිම ශක්තිමත් කරන්නට විය. එංගලන්තය වෙනුවෙන් ප්‍රබල පන්දු යැවීමක නිරත වූ ජෝන් එම්බියුරි ශ්‍රී ලංකා පිළේ සියලු බලාපොරොත්තු බිද දමමින් ලකුණු 33 කට කඩුලු 6 ක් දවාලීමට සමත් වූයේ තරගයේ වීරයා සම්මානයද තමන් සතු කර ගනිමිනි. 

ලකුණු 33 කට කඩුලු 6 ක් බිද් හෙලූ ජෝන් එම්බියුරි..


ක්‍රිස් ටැවරේගේ දායකත්වයෙන් එංගලන්ත ඉණිම පෝෂණය වූ අතර ඔහු එංගලන්තය ජය මාවත කරා රැගෙන ගියේ ලකුණු 85 තම පිත්තට එක් කරමිනි. එංගලන්තය විසින් සිය මංගල ටෙස්ට් තරගය ශ්‍රී ලංකාවෙන් උදුරා ගනු ලැබුවේ කඩුලු 7 ක විශිෂ්ට ජයක් හිමි කර ගනිමිනි. දෙවන ඉණිමේදී ශ්‍රී ලකා ඉණිමේ කඩුලු 7 ක්ම ලකුණු 38 ක් තුළ බිද වැටීම ශ්‍රී ලංකාවේ පරාජයට වීමට ප්‍රබල හේතුවක් විය. ශ්‍රී ලංකාවේ කුලුදුක් ටෙස්ට් තරගය අවසන් වූයේ මෙලෙසිනි. 








සටහන සමීර ගොඩපිටියගෙන්..
ජායාරූප අන්තර්ජාලය ඇසුරිනි. 

Post a Comment

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search